ඔබේ ඉඳුල් අතර දහසකුත් එකක් ගොවියන්ගේ නොඉඳුල් ප්‍රාර්ථනාවන් සැඟවී තිබේ

හොඳ හොඳ පණුවන් අහුලන්නේ පාන්දරින්ම අවදි වන කුරුල්ලන් බව කියැවෙන පැරණි ශ්ලෝකයක් මා අසා තිබේ. හාත්පස සිසාරා විසිර පවතින මීදුම කපාගෙන ලහිලහියේ පියාසරණ කුරුල්ලන්ගේ අත්තටු තවමත් හිරි බිඳී නැති සෙයකි. ගෙවුණු රාත්‍රිය කොහේ හෝ තුරු වදුලක නින්දෙ නොනින්දෙ රැය පහන් කරන පක්ෂීන්ට තම පියාපත් සකසා පිරිමැද ගන්නට මේ කාලය නොවේ. ලහි ලහියේම කුස පුරවා ගැනීම කුරුලු කෙවිල්ලන්ගේ පළමු කාර්යයයි.
හේනේ අලුතින් ඉදිකළ බිම් පැල අද්දර මයිල ගස පාමුල ඇති තුඹස් ගැට්ටේ වාඩිවී කිසියම් නිදහස් කල්පනාවක නියැලී ගැලී සිටීම අමුතුම රසයකි. අත්ලට හලා ගන්නා සීනි කැට කිහිපය දිව අද්දරට ගෙන ඉඟුරු මුසු උණුසුම් කහට කෝප්පයකින් කටයුතු ආරම්භ කරන්නට අප පුරුදුව සිටින්නෙමු.
මනුෂ්‍යත්වයේ පහළ ම තැනින් පටන් ගෙන ඉහළට නැගුණ කෙටි තාප්ප බැමි වටකොට තනාගත් සුඛෝපභෝගී සිර මැදිරි තුළ අප ගෙවන නාගරික ජීවිත නිසරුය. එ බව මේ සරු පොළව යළි යළිත් පසක් කරවයි.
තම උපන් ගම් බිම් අතැර කොළඹ තදාසන්න කුඩා බිම් කඩක සිර වී තම තම හීනමානයන් සන්තෘප්ත කර ගන්නට වෙහෙසෙන මිනිසුන් පිළිබඳව මට ඇත්තේ කණගාටුවකි. සිංහල අවුරුදු සමයට ලද ඇසිල්ලෙහි ගම්බිම් වලට වැදී සුපුරුදු හේනේ කුඹුරේ බඩවැටිවල රිංගා ඇරියස් කවර් කරගන්නා සංක්‍රමණික නාගරික වෙස් ගත් බහුතරයක් මල් පණුවෝය. මලේ ඉඳගෙන මලම කාගෙන ජීවත් වන මොවුන් විවිධ වෘත්තීන් ගුරුකුල දේශපාලන මතිමතාන්තර වලින් හිස උදුම්මාගෙන නාගරික ජීවිතම විවේචනය කරයි.
මෙකී මල් පණුවන් අතර දැන උගත් දේශපාලනඥයින් වෘත්තිකයන් මෙන්ම කලාකරුවන් ද සිටීම අභාග්‍යයකි.
කහට කෝප්පය අහවර වූ සැනින් යාය මධ්‍යයේ වෙන්නට ඇති කුඩා ලදුකැලෑ කුට්ටීය දෙසට පිය නැගුවේ මනරම් කැදලි නිමවන පුංචි වඩු කුරුල්ලන් ගේ ස්වරූපය සමීපව දැක ගැනීමේ අරමුණිනි. දෙකොනින් අල්ලා තදකරගත් ස්ප්‍රිනයක් එකවර මුදාහල අයුරින් ඇසිපිය හෙළන වේගයෙන් ඉහළට පැන දිව ගිය අග මුවා ඇගේ හැපුනෙ නම් සමහරවිට කතාව මෙතනින් නිමි වන්නට ඉඩ තිබුණි.
ඒ පෙරදින සවස විදුලි වැට බිද නිහඬ සක්මනේ යෙදුණේ සද්දන්තයා පසුපස විත් අතරමං වූ මුව පොව්වෙක් බව මගේ අනුමානයයි. වන අලින් පසුපස ගොස් ආහාර සොයා ගැනීම හරකුන් මුවන් ගෝනුන් ආදීන්ගේ සිරිතකි.
මිනිස් කෑකෝ ගැසීම් මායිම් නොකරන තනියා බිහිරිය. නිරන්තරයෙන් දෙසවන අසලම පිපිරෙන අලි වෙඩි ඔහු බිහිරෙකු කොට ඇත. ඔහු පලවා හරින්නට යායේ ගොවීන් මහත් වෙහෙසක් ගත් බව පසුව දැන ගන්නට ලැබිණි.
වන සතුන් මෙන්ම ගොවියාද එක හා සමානව අසරණය. මහ පොළොව හා ගැටී භවභෝග වවන්නටත් රකින්නටත් ගොවීන් වෙහෙසෙන්නේ ඉරහද ඇල්ලීමට නොවේ යාන්තමින් වේල් තුන සප්පායම් කොටගෙන දිවි රැක ගන්නටය. තම දරු දැරියන්ගේ අධ්‍යාපනය ආදී විවිධ මූලික අවශ්‍යතාවයන් ඉටුකරගන්නට ය.
වන සතුන් ගම්වදින්නේද යම් කිසිවක් ආහාරයට ගෙන දිවි රැක ගන්නටයි.
එකම අරමුණක පීඩිත දෙපාර්ශ්වයම නිම නොවන සටනක කොටස්කරුවෝ ය.
වායුසමනයෙන් යුතූ සුපිරි වෙළෙඳසල් හි ස්වයංක්‍රීයව මෙන් සක්මනෙ යෙදෙන අතර මිරිකා, අතගා විනිවිදින බැල්මෙන් කිරා මැන බලා ගෙදර යන ගමන් ඔබ රැගෙන යන්නේ අහිංසක ගොවියා ගේ හිස මත පැටව ඇති අවිනිශ්චිත හෙට දවසේ බරය.
නිසි ජාතික වැඩපිළිවෙළක් හෝ නිවැරදි චින්තනයක් නොමැතිකමින් ලංකාව තුළ එළවළු සහ පලතුරු 40% වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනයේදී කසළ බවට පත්වෙයි,, එමෙන්ම දෛනිකව කසළ බදුන් පුරවන ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් දහස් ගණනකි.
විවිධ රුචි අරුචිකම් මැද අප බත්පත වටේට ආහාරයට නොගෙන ඉතිරි කොට ඇති විවිධ වෑංජන ප්‍රමාණය එක් ග්‍රෑමයක් වශයෙන් සලකා එය මිලියන 22ක් ගුණ කොට නැවත තුනෙන් වැඩි කොට බලන්න. අප විසින් දිනකට ඉවත දමන ආහාර කන්දේ තරම ඔබට වැටහේවි.
බත් පතින් කසල බදුනටත් කසල බඳුනෙන් නගරසභා ලොරියටත් ලොරියෙන් කුණු කන්දටත් විසි කෙරෙන්නේ අපගේ මාතෘ භූමියේ සාරයත් අහිංසක ගොවියන්ගේ කඳුළු සහ දෘහයයි.
ඔබේ ඉඳුල් අතර දහසකුත් එකක් ගොවියන්ගේ නොඉඳුල් ප්‍රාර්ථනාවන් සැඟවී තිබේ.
දහසකුත් එකක් බලාපොරොත්තු සැඟවී තිබේ. තෙල් පෝර මිලදීගන්නට මුදල් නොමැතිව උකසට තැබූ සහ සින්නවූ කණකර වල මතකයන් පිරී තිබේ.
තොගේ ට මෙන්ම සිල්ලරටත් කෛරාටික අතරමැදියන් ට මැදිව අසරණ වූ නිහඬ ගොවීන් අපේ හෙට දවසේ පෝෂණය වෙනුවෙන් මේ මොහොතේදීත් කොහේ හෝ ගොවි අස්වද්දමින් සිටීවි.
ඔබේ වටිනා කාලයෙන් පැය විසි හතරක් වැය කොට ඔබට හැකිනම් ගොවිබිමක ගොවියකු සේ එක් දිනක් රැඳෙන්නට ඔබට වැටහේවි කැරට් 22 රත්රන් කිලෝවකට වඩා මඤ්ඤොක්කා කිලෝවක් වටිනා බව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *