දී කිරි දී කිරි ගෙනාව දී කිරි….

මුට්ටිය බිඳීමෙන් සියල්ල අවසන් වන බව කියැවෙන ගීතයකි.
භවභෝග නිෂ්පාදන කර්මාන්තයේදී මේ වනවිටත් ජාතියක් හැටියට අප මුට්ටිය බිඳ ගෙන අවසන්ය.
වසංගතයට සමගාමීව මැති-ඇමති උතුමන් පටන් පූජ්‍ය පූජක දෙපක්ෂය ද වෛද්‍යවරුන් ඉංජිනේරුවන් මෙන්ම කරණවෑමියා දක්වා සමස්ත පුරවැසියාම වවාගෙන කන්ට යොමුවී ඇත.
ඒ වසංගතය අවසානයේ මතුවන සාගතයට මුහුණ දීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.
ඒ සඳහා කෙරෙන යම් රාජ්‍ය මැදිහත්වීමක් හො කිසියම් ඵලදායී යමක් වෙතොත් සොයා ගැනීමේ අදිටනින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවිය ට පිවිසීම අද දවසේ මගේ පළමු කාර්යය විය.
අලුයම හතරතත් පහත් අතර කාලයේ පවතින සිසිලස මරාගෙන ඉහින් කනින් දාඩිය දාන්නට විය.
කෘෂිකාර්මික රටක උගුරු දණ්ඩටම තොණ්ඩුව දමා සමස්ත ක්ෂේත්‍රයේම වලපල්ලට දක්කාගෙන යන අයුරු දුටුවිට මහත් වේදනාවක් ගෙනදේ.
පිටුව ආරම්භ වන්නේ දෙපාර්තමේන්තු සේවක කාරකාදීන්ගේ ස්ථාන මාරු හා ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ තොරතුරුවලිනි. එය ප්‍රමුඛ වී ඇත. අනතුරුව වගා කටයුතු පිළිබඳ තොරතුරු ය. එයද ඇත්තේ ඉංග්‍රීසි බසිනි. ඒවා තේරුම් ගන්නට නම් සියලුම ගොවීන් පළමුව කළ යුත්තේ ඉංග්‍රීසි බස ඉගෙනීමයි. ඛේදවාචකය වන්නේ බස කුමක් වුවත් සමස්ත දෙපාර්තමේන්තුවේම අරමුණ වී ඇත්තේ විදේශයන්ගෙන් ආනයනය කරන රසායන තෙල් සහ පොහොර වර්ග අනුමත කිරීමත් ඒවා භාවිතයට ගොවීන් යොමු කිරීමත් ය. ඒ හැර අන් සරණක් නොමැති බව ගොවීන්ට ඒත්තු ගැන්වීමයි.
කතාවේ කූටප්‍රාප්තික මොහොත තේරුම් ගැනීමට නම් අප ඉලක්කම් වලට යා යුතුය.
වසරකට පොහොර සඳහා අපි මවුබිමෙන් විදෙස් කරා ඇදී යන දේශීය ධනස්කන්ධය රු. 40,000,000,000 කී.
එසේත් නැත්නම් රුපියල් බිලියන 40 කි. ආසියානු හා පැසිපික් කලාපයේ කෘෂි රසායන හා පළිබෝධ නාශක භාවිතයෙන් පළමු පෙළේ සිටින අප රටට ආනයනය කරන කෘෂි රසායන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1700ක් 2000 අතර වෙයි. මෙහි වටිනාකම ඔබම රුපියල් වලට පෙරලා බලන්න.
මේ අයුරින් මව් බිමට වස පොවා කෙරෙන්නේ ජෛව විවිධත්වයෙන් අනූන අප රටේ පෙනෙන නොපෙනෙන දහසකුත් එකක් ජීවින් සදාකාලයටම මිහිමතින් තුරන් කර දැමීම නොවේද?.
මේ කාර්යය ඉටු කිරීම සඳහා පැහැදුණු ඉහළම පුටුවේ සිට පහල ගොවි නියාමක දක්වා අති විශාල පිරිසකි. අමාත්‍යාංශක්ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක්ද වෙයි. නානාප්‍රකාර ආයතන හා කෘෂි විද්‍යා පීඨ, නියමු ව්‍යාපෘති , අතොරක් නැත. මැති ඇමැතිවරු ද,ලේකම්වරු, සභාපතිවරුන්ගෙන් සමන්විත විශාල ක්ෂේත්‍රයක් අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදලින් නඩත්තු කරවයි.
වැස්සිගේ ඉදිරිපස අහිංසක ගොවියාටය. පශ්චාත්භාගය කෘෂි නිෂ්පාදන හා තෙල් පොහොර බීජ ආදිය අලෙවි කරන ජාත්‍යන්තර සමාගම්වලටය. කොමිස් කරුවන්ට ය.
කළගුණ දන්නා මෙම සමාගම් වගකිවයුත්තන්ට විදේශ සංචාර ඇතුළුව කොමිස් මුදල් හා වරප්‍රසාද නොඅඩුව පුද දෙනවා දැයි මා නොදනිමි.
ගොවියාගේ දෙවියා වී ඇත්තේ හන්දියෙ තෙල් පොහොර මුදලාලිය. සියල්ලටම විසඳුම් සහ උපදෙස් ලැබෙන්නේ ඔහුගෙනි.
දැනට පවතින තත්ත්වය අනුව නමි මුදලාලි හොඳටම ප්‍රමාණවත්ය.
ලොවට බත සැපයූ පෙරදිග ධාන්‍යාගාරය විදේශීය සමාගම් වල බුක්තියට සවි වී ඇත.
මධ්‍යම ඇමරිකාව ලොවට දායාද කල වට්ටක්කා ප්‍රභේද වශයෙන් 26කි. 500g සිට 50kg දක්වා විශාලව වැඩෙන වට්ටක්කා ඇලස්කාවෙ දී නම් එක් ගෙඩියක බර කිලෝ 700 ඉක්මවයි. ඒ පැය දහඅටක් පුරා පවතින හිරු රස්මියෙ ආනුභාවයෙනි.
බීජ වට්ටක්කා කිලෝවක මිල රුපියල් හතළිස් දහසකි. අප හේනේ ප්‍රධාන තැනක් ගන්නේ වට්ටක්කා බැවින් ඇට සිටුවන මොහොතේදීම රුපියල් හතළිස් දහසක් මැලේසියානු ගිණුමට බැර වී හමාරය. අවම වශයෙන් වට්ටක්කා මලක් පූදින මොහොත වනවිට බිජ 1kgක පැළ සඳහා අනුමත පොහොර ප්‍රමාණය 600kg ඉක්මවයි. පොහොර සඳහා වැය වන මුදල් ද විවිධ සමාගම් ගිණුම් වලට බැර වේ.
අනතුරුව අවම වශයෙන් අවස්ථා දෙකක් වත් කෘෂි පලිබොදනාශක යෙදිය යුතුය. එම මුදල් හි උරුමකරුවා ද සමාගම් මුදලාලිලා ය. අවාසනාවකට වෙනත් කිසියම් දිලීර හෝ කෘමි උවදුරක් හටගත්තේ නම් තවත් අමතර මුදලක් දැරීමට සිදුවේ.
මේ අයුරින් අප වගා කළ භොගයේ මලක් පූදින්නට මත්තෙන් ඒ ඒ සමාගම් මුදල් උපයා අවසන්ය. ලාභාංශ ද බෙදා හදාගෙන අවසන්ය.
බීජ සිටුවීමට පෙර අවධියේ භූමිය සකස් කරගන්නට යොදාගන්න ටැක්ටර් සහ උපකරණ වෙනුවෙන් වාර්ෂිකව විශාල ධනස්කන්ධයක් විදේශයන් වෙතට ඇදී යයි.
වල් මර්දනය කරගන්නට තවත් වියදමකි.
ලයිස්තුව දිග වන නිසා වැඩිදුර ලෙහා නොබලමි.
බීජය උපතේ සිට ඵල නෙලන මොහොත තෙක් ගොවියා ගේ පසුම්බිය හිල් කූඩයක් මෙනි.
බුදුන්ට , jesus ට පෙර වර්ෂ 4000 පමණ වූ ඈත අතීතයේදී ද ගොවිතැනින් බත සපයා ගත් අදීන ජාතියක් අද වන විට ඔසවා පොළොවේ ගසා තිබේ.
. බහු ජාතික සමාගම් වලින් ලැබෙන රුපියල් සත වලට ගිජු දේශපාලනඥයින් වගේම විටක් හපා කොණ්ඩය බැඳ ගොවි වෙස්ගත් මජර කලාකරුවෝ ද ගොවියන්ගේ දුක මිලදී ගන්නා අතර බත්පතට වස මුසු කරමින් සිටී.
කාරණා කෙසේ වෙතත් ප්‍රමාද වී හෝ ගෙවතු වගාවට යොමු වී සිටින ඔබ ට හෘදයාංගමව හිස නමම්.
නමුත් මේ ලියන මට ද පවතින ප්‍රායෝගික යථාර්ථය තුළ වෙනත් විකල්පයක් නොමැති කමින් ඒ මගම යාමට සිදුව ඇත. ගැටලුව එතරම්ම බරපතල ය.
අනිල් අරුමපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *