දෙවියන් මරා දමන්නට කලබල වෙන්න එපා

දියුණු ආර්ථික වටපිටාවකින් සමන්විත සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී තත්ත්වයක් තුළ දෙවියන් යනු හුදු පුද්ගලික හැඟීමකි.
ඔස්ට්‍රියාව ජර්මනිය වැනි දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවලට තවදුරටත් දෙවි කෙනෙකුන් අවශ්‍ය නොවේ .
අනික් අතට ලෝක මහා බලවතා වූ පුටින් ද පසුගිය මැතිවරණය ආසන්න සමයේ දී දෙවියන්ගේ පිහිට පතා ආගමික වතාවත්හි නියැළුණු හැටි අප දුටුවෙමු.
ඉන්දියාව නේපාලය වැනි ආසියාතික රටවල ජනගහනයෙන් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් අදටත් පාලනය වන්නේ දෙවියන්ගේ අනුහසිනි. නරෙන්ද්‍ර මෝඩි වැනි දේශපාලන නායකයන්ට ඉතිරිව ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හා තම පාලන තන්ත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ දි මතුවන ගැටළු නිරාකරණය කර ගැනීම පමණි. රික්ෂෝ රථයෙත් කසල බඳුනෙත් තැබෑරුමෙත් මේ කොයි තැනත් සමස්ත ඉන්දියාව පුරා දෙවියන්ගෙන් සැරසී විසිරී ඇත ඇත. ශ්‍රී විෂ්ණු හාඩ්වෙයාර්, බුද්ධ restaurant and bar අනන්තවත් මා සියැසින් දැක තිබේ, අති විශාල ජනස්කන්ධයක් සහිත ඉන්දියාවට ඉන්දියානු පොලිසියට , උසාවියට පාර්ලිමේන්තුවට දෙවියන් අභිබවා තම අණසක පතුරවන්නට තවත් අඩසියවසකට වත් බැරි බව මගේ විශ්වාසයයි.
වත්මන් කොරෝනා ගැටලුව ඉන්දියාවට පමණක් සීමාවූවක් නම් ඉන්දීය පොලිස් නිලධාරීන් අතට බැටන් පොලු පැමිණෙන්නේ නැත. එය දෙවියන්ගේ උදහසක් ලෙස සලකා ඉන්දියානුවා සමීකරණය සරලව විසඳනු ඇත.
සුප්‍රසිද්ධ සීනිගම දේවාලයට දෛනිකව දහස් ගණනින් මිනිසුන් මිරිස් අඹරන්නට පැමිණෙන්නේ තම අනෙකාගෙන් සිදුවූ යැයි සැලකෙන යම් යම්
අකටයුතුකම් වෙනුවෙන් දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලා කරන පළිගැනීම් සඳහා ය. තම හරකබාන සොරාගත් විට ඉඩමේ මායිම් කණුවක් මුල්කොට ගෙන ඇතිවන්නවු ආරවුලක දි දිවගොස් නවතින්නේ දෙවොල් බිමකය.
ආදරය මෙන්ම වෛරයෙන්ද මොලේ රසායන වෙනස්වීමේ ප්‍රතිඵලයන්ය. මේකි වෙනස්වීම් මුල්කොටගෙන හටගන්නා මානසික තත්වයන් සති කීපයකින් තුනීව පහව යයි. දෙවියෝ දඬුවම් දුන් නුදුන් වගක් නො සලකන ඔහු හෝ ඇය නැවත සුපුරුදු රාජකාරිවල නියැලී තම ජීවිතය ගෙවා දමයි.
මේ අයුරින් සීනිගමට, මොදර කෝවිලට මුන්නේශ්වරමට, කැබිලිත්තට, කතරගමට ආදී වශයෙන් මේ දූපත පුරා දෙවියන් වැඩ වෙසෙතියි සලකා පිහිට පතමින් යන බැතිමතුන් තමනට සිදුවූ අකටයුතුකම් විසදීම සඳහා දෙවියන් වෙත නොගොස් තම තමන්ම ක්‍රියාත්මක වූයේ නම් සිදුවන විපත් අතිමහත්ය. රෝහල් උසාවි පොලිස් කුඩු සිරමැදිරි දේවාල වලට වඩා රටපුරා පිහිටුවන්නට සිදුවේවි.
අවාහ විවාහ කටයුතු උසස්විම් විභාග ජය ආදී බොහෝ අවශ්‍යතාවයන්ගේ මනෝභාවයන් වෙනුවෙන් පිළිසරණ වී ඇත්තේ දෙවියන්ය.
විශේෂයෙන් ලංකාව වැනි රටක බහුතරයක් වූ අහිංසක මිනිසුන් හට දේශපාලන හිතවතුන් නැත. රාජ්‍ය ආයතන වල උසස් නිලධාරින් හා සම්බන්ධ කම් නැත. හත්මුතු පරම්පරාවේ එකෙක්වත් විශ්ව විද්‍යාලයකට පය තබා නැත. තම සාධාරණ ඉල්ලීම් හෝ අයිතිවාසිකම් ඉටුකරගැනීම වෙනුවෙන් අල්ලස් මුදල් ලබාදීමට තරම් වත්කම් ද නැත.
උසස් පාසල් සඳහා තම දරුවන් ඇතුළත් කර ගැනීම පිණිස නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබා දෙන තරුණ මව්වරුන් ඕනෑ තරම් මා දැක අසා තිබේ. තම ශරීරය පූජා කරනු වෙනුවට පලතුරු වට්ටියක් දෙවියන්ට පූජා කොට කන්නලව් කරන දෙමව්පියන් ඔබත් දැක තිබේවි .
මෙවැනි අභාග්‍ය සම්පන්න කාලවකවානුවක තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් කෙසේවෙතත් ප්‍රධාන ධාරාවේ මහා දේවතාවන් නොවන්නට අති විශාල ජනකායක් මානසික රෝගීන් වීම වැළැක්විය නොහැක.
පසුගිය වසරේ සහරාන් විසින් පුපුරුවා දැමූවේ කටුවාපිටිය පල්ලියේ වීදුරු නොවේ. එහි වහලය උළු කැටද නොවෙ. මරා දැමුණේ ජූඩ් හො ඇන්ටන් නොවේ. සහරාන් විසින් පුපුරුවා හැරියේ සියවස් ගණනාවක් දොවියන් කෙරෙහි පැවැති භක්තිය හා විශ්වාසයයි. ඒ මොහොතේ එහි ප්‍රධාන පූජක උතුමන්ලා දේශපාලන ප්‍රකාශ නිකුත් කරමින් දේශපාලකයාගේ කාර්යභාරය සියතට ගන්නවා වෙනුවට කළ යුතුව තිබුණේ දෙවියන් නැවත පල්ලියට කැඳවීමයි. තම බැතිමතුන්ගේ භක්තිය සහ විශ්වාසය නැවත ගොඩනැංවීම්යි.
අප කියන කරනදේ සැමවිටම ප්‍රායෝගික විය යුතුයි . අප මේ මොහොතේ ජීවත් වෙන සමාජ වටපිටාවට ගැළපිය යුතුයි . දෙවියන් මරා දැමීමට ප්‍රථම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය හා සමානාත්මතාවය ස්ථාපිත කළ යුතුයි . ඒ වෙනුවෙන් අරගල කළ යුතුයි . සමාජය පුරා සදාතනිකව පැතිර පවතින වෛරසයන් වන දුෂණ, භිෂණ අක්‍රමිකතා අසාමාන්‍යතා මරාදැමිය යුතුය.
සහරාන් අයත් ජන කණ්ඩායම කරමින් ඉන්නේ තම ගෝත්‍රවාදය වෙනුවෙන් දෙවියන් ද පාවිච්චි කිරීමයි.
යහපත් සමාජයක් බිහි වූ දිනක ඔබත් මාත් දෙවියනුත් නිදොස් කොට නිදහස් වේවි. දේශපාලකයන් සමඟ තර්ක කරන්න. දෙවියන් හට ආදරය කරන්න.
අප දෙවියන් ගේ සත්‍ය අසත්‍යතාව විමසමින් තර්ක කරන අතර දේශපාලකයින්ට ආදරය කරන්න ට තරම් නිවට වී ඇත.
දෙවියන් බිහිවූයේ දස මසකින් හෝ හත් මසක ගැබ් කාලයකින් නොවේ .
ශිව පුරා වසර හතළිස් දහසක් පවතින්නේ අහම්බයකින් ද නොවේ.
අනික් අතට එකිනෙකා මරා ගනිමින් කුඩා දරුවන් දූෂණය කරමින් අහිංසකයන් සූරාකමින් අතට අසුවන සියල්ලට මිලක් නියම කරමින් සිටින මිනිසාගේ සියලු කෲරතර පාපකර්මයන් ඉවසා අප සුරකින්නට බැඳී සිටින වග දෙවියන් කෙදිනක අපට පවසා තිබේ ද.?
දෙවියන් කෙරෙහි මෙතරම් කෝපයක් ඇයි?
හටගත් සියල්ල විනාශ වන සදාතන ධර්මය අභිමුවේ corona වෛරසය ද මෙලොවින් තුරන් වේවි.
එතෙක් කලබල නොවන්න.
. පළමුව බිය/වෛරය මරා දමන්න.
ඒ වෙනුවට ආදරය ආදේශ කරන්න .
එකිනෙකාට ආදරය කරන මිනිසුන්ගෙන් පිරි ආදරණීය සමාජයකදී සදාකාලිකවම දෙවියන්ද මියැදෙනු ඇත.
සමස්ථ මිනිස් වර්ගයාම අනතුරේ හෙලා දමමින් මේ වෛරසය පතුරුවන්නේ මීයන් මදුරුවන් නොවේ. අපට හතුරුව ඇත්තේ දෙවියන්වත් යකුන් වත් නොව ඔබත් මාත් අයත් සමස්ත මිනිස් වර්ගයාමයි.
ඔබේ මනුෂ්‍යත්වය තහවුරු කරන්න .
අතේ දුරින් ඉන්න.
අනිල් අරුමපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *