මොනර සුසානය

මානන් පඳුරු සහ ඉලුකෙන් වැසී තිබුණු යාය තනි පලසක් වූයේ ඉන්ද්‍රජාලිකව. ලුමිනස් කොල පැහැති ලා ගොයම පීරා සීරුවෙන් සක්මනේ යෙදෙන කොකුන් කෙකියන්ගේ කුමන හෝ යමක් පෙරදිනක අතපසුව යන්නට ඇති. රොටරියට කොකුනගුලට සමගාමීව සී සෑමේ දී කරටකර හැපුන කොක් කැල ආ ගිය වග හො මගක් සොයාගන්නට නැත.
ට්‍රැක්ටරය ලොකු වුවත් කුඩා වුවත් පයිසෙකට මායිම් නොකල කොකැත්තෝ අවසන නික්ම ගියේ කුඹුරටත් නොකියාම යි.
ගොවියන්ගේ උණුසුම් දා බිදු මිශ්‍රිතව ලුණු රසැ ගැන්වූ බීජ වී ඇට වලින් සැලකියයුතු පමණින් ගිල දැමුවේ රෑන ගිරවුන් ට වඩා ලබු ගිරා සමුහයකි. ඒ සදහා වැය වූ දින දෙක පාඩුවක් නොවූ බවට නම් කැට තබමි.
වී ගොවිතැනේ නොලියැලෙණු අපට මොනරුන් ගෙන් නම් බරක් නොදැනේ. මෙවර කෙත් ඇලේ දියවර කැන්දන්නට මත්තෙන්ම කවුරුන් හෝ මොනර සමූහය ට පුනර්භවයක අවසන් පාඩම මතක වස්ත්‍ර පුජාවක් නොතබාම කියා දී තිබුණි. මොනර සුසානයක් කිසි දිනක ඔබ නෙතු නොගැටේවා යි ප්‍රාර්ථනා ය කරමි.
සිත්තරකු ගේ අඩුවක් නොමැති පාටභවර්ණ පෙට්ටියක් අතට හසුවූ පැන්චෙකු එය ඉසිර විසිර දමනයුරු
හගින්නට හැකි නම් මොනරු සුසානයන් ඊට බෙහෙවින් සමානයි.
එසේත් නැත්නම් ධාරානිපාත වර්ෂාව කට හසුවූ බිම් පතබෑවුණ තොරණක ඇස් ගැටුණු ඔබ දෙනෙතේ මතු වූ වර්ණවත් කඳුලක් මෙනි.
මා ආදිවාසීන් සමග කල් මැරූ අවස්ථා කීහිපයකම මෙකී කාලකන්නි නෙත් දැකීම අත්විද ඇත්තෙමු . රටවල් 70 ක ලොව පුරා වෙසෙන මිලියන 370 ක් වූ ආදිවාසීන්ට මෙහි අත් දකින්නට යමක් නොවේ. පාට චප්පිලැ ඇත්තෝ (මොනරුන් ) මෙන්ම මුළු ගැන්වෙන්න වලිකුකුලන් ද බරු ගසන සමහර වැද්දන් වර්ණ අන්දතාවයකින් පෙළෙන්නෝ දැයි මට සිතේ.
වපුරා දින කීපයකින් අලුතින් දළුලා වැඩෙන ගොයම ඈතට දිස් වන්නේ හරිතවර්ණ ඉරටු සමූහයක් සේ ය. මෙතරම් මනරම් හරිත පැහැයක් ගොයමට කොහෙන්ද. ?
සමහරවිට ඊරිගෙ ඔය ලෝබ නැතුව මුදාහරින නිල්වන් දිය දහර සූර්යාලෝකයේ කහ වර්ණය හා මිශ්රිතව මෙකී කොල පැහැය සෑදී ඇතුවා වන්නට බැරිද?
(පාද සටහන නිල් +කහ = කොල)
සවිඤ්ඤාණක ගොවියට ගොවිතැන භාවනාවකි . එසේ සම නොවැදුණහොත් නිවන නිමවී ගමනද කෙළවර වන්නේ මැසි තෙල් කුප්පියෙනි.
බිජ පොළොවට මුදාහරින පළමු දිනේ බලාපොරොත්තුවේ කුළුදුල් ඛීජ හදවතේ ද තැන්පත් වේ. දින සති කීපයක ගැබ් කාලය ඇවෑමෙන් තවානෙන් පොළොවට වට භෝගයෝ හිරු දෙස බලා සිනා සෙන්නේ වෙහෙස අමතකව ගිය පරිද්දෙනි.
භෝගයන් තූළින් සිහිපත් කරන්නට තරම් විශේෂිත සුවඳක් නො හැමූවද සුවදුක් විමසා බලන්නට පැමිණෙන වී බඹර සමනල රෑන් කොදුරන්නෙ ප්‍රේමයෙ ගීත ම විය යුතුය.
තෙමසක වැඩිමනත් සිව් මසක ආයු කාලයකට හිමිකම් කියන බෝග ඉක්මනින් මහළුව මිලිණ වේ. නියර වැටී බිඳී යයි. වියලි පරඬැල් සුළඟෙ අප්‍රාණිකව ළෙළෙයි. වටසැරූ මී බඹර සමනලුන් නික්ම ගොසිනි. නිහඬයි. සුසානයකි.
පරිභෝජනයෙන් හෝ අලෙවියෙන් ගමන නිමා නොවූ බීජ බිම් පැලක මැස්සක හෝ කිසියම් අඳුරු මුල්ලක දීර්ඝ නිද්‍රාවකට වැටෙන්නේ මතු යම් දිනෙක සිය පරපුරේ ගුණ සුවඳ උරුමයන් යළිත් මිහිතලය තැන්පත් කිරීමේ පවිත්‍ර චේතනාවෙනි.
මෙකී සංසාර චක්‍රය මැදහත් සිතින් දකින්නේ නම් ලාභාලාභ ුක සැප නින්දා ප්‍රශංසා සමසිතින් දරාගෙන සත්‍යඅවබෝධය දෙසට ගමන පහසු කරවයි.
ගොවිතැන භාවනාවකි.
අනිල් අරුමපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *