තාරකා කුමක් කරන්නද?

දිනක් බමුණකු ඇවිදමින් සිටියේ දුප්පත් ගම්මානයක් හරහා ගලාබසින මනරම් ගං වෙරළක් දිගේ . සුදු වැලි තලයේ පිහිටා තිබෙන සක්විති රජකුගේ පා සලකුණ දුටු බමුණා මවිතයට පත්වී විපරම් කළේ
දුප්පත් ගමේ සක්විති රජකුගේ පා සලකුණු සටහන් වූයේ කෙසේදැයි නිවැරැදිව දැන හැඳින ගන්නට ය.
පා සලකුණු අග අප බුදුපියාණන් වහන්සේ විවේකයෙන් වැඩසිටියේ හොදින් වැඩුණු රුක් සෙවණක .
ජ්‍යොතිෂය පිළිබඳව හසල දැනුමක් තිබූ බමුණා ඒ දුටු සැනින් කෝපයටත් පුදුමයටත් පත් වුණා.
තමා රැගෙන ආ මල්ලී පොළොවේ ගැසූ බමුණා සක්විති රජෙකු විය යුතු වූ ඔබ මෙසේ දුප්පතෙකු වූයේ කෙසේද? ප්‍රශ්න කළා.
එවිට බුදුන් වහන්සේගේ පිළිතුර වුයෙ මා සක්විති රජුන්ගේ රජු බවත් මින්පසු ඔබේ අනාවැකි පැවසීමේදී වීර්ය වඩන්නට දෛවය වෙනස් කළ හැකි බව පවසන්න. වීර්ය වඩන්නා ඉදිරියේ තාරකා කුමක් කරන්නද යනුවෙනි.
ඉහත කතාවේ සත්‍යය, අසත්‍යතාවය පිළිබඳව මා වගනොකියන මුත් මේ කතාව අදටත් වලංගු නිසා මෙසේ සටහන් කළෙමි.
සමහරවිට තමන් කිසිදා සිහිනෙන්වත් නොදුටු වල්ගා තරුවක් හා ගෝලීය වසංගතයක් වූ කොරෝනා වෛරසය ට අතරමැදිව කූඤ්ඤ ය ගලවන්නට ගොස් මංජුල පීරිස් නැමැති ජ්‍යොතිෂවේදියකු සිය වලිගය සිර කොට කොට ගෙන හමාරය.
පීරිස් තුමන්ගෙන් පටන් බබා වැන්ගා තුමිය දක්වාම ලොව පුරා විසිරී සිටින විවිධ පුරෝකථන කරුවන් අතරින් කිහිප දෙනෙකු එළඹෙන අනතුර පිළිබඳව මත ඉදිරිපත් කරන්නට සමත් විය.
නමුත් මෙකී ව්‍යසනයෙන් මිදීමේ මගක් හෝ වැළකීමේ මගක් ඉදිරිපත් කරන්නට කිසිදු අනාගත වාක්‍ය කරුවෙකු සමත් නොවීය. එසේ වී ඔවුන්ගෙ සිතීම තව එක් පියවරක් ඉදිරියට තැබුණේ නම් මුලු මහත් ලෝකයා ට එය මහත් ශාන්තියකි.
වෛරසයෙන් මිදීමට වැළකීමට හෝ මග හැර යාමට සිදුව ඇත්තේ අපටමයි.
coronaවෙන් බේරෙන්නට කිසියම් ඇප නූලක් යන්ත්‍රයක් , මන්ත්‍රයක් හෝ තන්ත්‍රයක් ඔවුන් සතු වුයේ නම් මේ වන විට ඩොලර් මිලියන ගණනින් ඔවුන්ගේ බැංකු ගිණුම් ඉතිරෙන්නේ ය.
අවම වශයෙන් 2020 මුල් කාර්තුවේ මෙවැනි දරුණු ව්‍යසනයකට මුහුණ දීමට ඇති බවත් ඒ සඳහා ඔබ කළ යුත්තේ “මීටරෙන් සිටීම” යැයි පැවසීමට කිසිවකු සමත් වූයේ නැත.
කවුරුන් හෝ වේවා සිය අදහස් ප්‍රකාශ කිරීමේදී හො විවේචනයේ දී විකල්ප ඉදිරිපත් නොකරන්නේ නම් ඒ අදහස් තරම් නොවේ.
දෙදෙනෙකු අතර පරතරයක් පවත්වා ගෙන යෑම ම මාරයා පරාජය කිරීමට හොඳටෝම ප්‍රමාණවත් ය. පරතරයම එන්නත වේ. වෙනත් කිසිදු දේශීය, විදේශීය පෙරදිග බටහිර ඖෂධයක් අවශ්‍ය නොවේ.
නමුත් වත්මන් මිනිස් සමාජයේ වෛරසයට වඩා බරපතළ රෝගය වී ඇත්තේ , අනෙකා පරයා තමන් ඉස්මතුවීමේ මමත්වයයි. නැතිනම් මානය යි.
මමංකාරය ජීවිතේ කොටගත් මිනිසුන් එකිනෙකා පරයමින් ඉදිරියට යන ගමනේදී කිසියම් මොහොතකදී අනෙකාට ළං වෙ. ලං නොවී අනෙක් ආපසු කරන්නට බැරිය. වෛරසය ක්‍රියාත්මක වන අවස්ථාව එයයි.
දෛනික පුවත් විපරම් කිරීමේදී අනෙකාට කලින් තම මල්ල පුරවා ගැනීමට පොරකන ගැහැණුන් හා මිනිසුන් මද වේලාවකින් මීටරය බිද එක පොදියට එක පොරයට වැටෙයි.
ගැටලුව අතේ දුරින් වගේම
පිළිතුරද ඇත්තේ අතේ දුරිනි.
කොරොනාවෙ පහලවීම අතිශය වැදගත් වන්නේ මුළු මිනිස් සංහතියටම එකවර ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඒ සතු වූ බැවිනි. එනිසාම ව්‍යසනය මත ගොඩනැඟුණු මිනිස් හැඟීම් ද එකක් වී ඇත. ට්‍රම්ප් සිට පොඩි පොඩිඅප්පුහාමි දක්වා පොදු චින්තනයක් බිහිවී ඇත. ධනපති පන්තියේ සිට ටියුෂන් පන්තිය දක්වාත් සමාජවාදය මෙන්ම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය දක්වාත් බල කෙරෙමින් පවතින්නේ එකම මිනිස් පන්තියකට කරාශී වන ලෙසයි .
රවි, චන්ද්‍ර, කුජ, බුධ ආදි ග්‍රහයෝ ද ,ඒක දෙවියන්ගෙන් පටන් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා ද එකම කඳවුරකය. ආගමික නායකයින්ට හා අනුගාමිකයින් ට එකම අසුනෙ දෙපස අතේ දුරින් රැඳෙන්නට සිදුව ඇත.
විද්‍යාව මිනිසාගේ දෑස් බැඳ රැගෙන යමින් සිටින්නේ ප්‍රපාතය දෙසටයි . කෘතිම බුද්ධිය මිසයිල න්‍යෂ්ටික අවි එකී ගමන අතරතුර ලබාදුන් අග්ගලා මල්ලකි .දැන් දැන් මල්ල දරාගැනීමට බැරි තරම්ය. ලොව පවතින්නට නම් මල්ල විසිකළ යුතුව තිබේ. නොඑසේනම් සිදුවන්නේ මල්ලටම යටවී සදාකාලිකවම මිනිසා මිහිදන් වනු ඇත.
corona පසක් කරමින් සිටින්නේ එයයි.
මිත්‍යාව වගේම විද්‍යාව මතද මිනිසා සමානව බර තබා තිබේ. ජයග්‍රහණය ඇත්තේ ස්වභාදහමට අවනත වුවොත් පමණි.
ඔබෙ අවධානයට……
මේ ලියන මොහොත වනවිට (16.04.2020 සවස 6.35 පසුවී තත්පර 02)
මේ වසරේ ගෙවුණු මාස හතර තුළ ලෝකයේ වන විනාශය හෙක්ටයාර 1,521,151කි.
මේ වසරේ ගෙවුණු මාස හතර තුළ ලෝකයේ සෞඛ්‍ය වියදම ඇමරිකානු ඩොලර් 11,478,855,000 .00කි.
අද දින 6.35 වන විට අද දිනයේ පමණක් උපත් සංඛ්‍යාව 292,836කි.
අද දිනයේ මරණ සංඛ්‍යාව 123,038කි
ලෝකයේ තරබාරු මිනිසුන් සංඛ්‍යාව 1,451,504,669කි.
අද දිනයේ කුසගින්නේ මිය ගිය සංඛ්‍යාව 23557කි.
සිතන්න…..
අනිල් අරුමපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *