“ජලබෝල ” හා ගාමිණි

උච්ච ස්වරයට ජානමය හිමිකම් කියන කුරුලු කෙවිලියන්ගෙ තොරතෝංචියක් නැති කතාබහ ට කන බොන විට දි වත් විරාමයක් නැත්තේය. “මැනර්ස්” නැති වාචාල පක්ෂීන් සමග අවදිවන සුමේධ මල්ලිට ද ඇත්තේ කුරුලු නින්දකි. පෙර දින රාත්‍රිය ගෙවා දැමූ අයුරු කෙසේ වුවද බිම් කළුවර තුනී වන්නටත් මත්තෙන් මල්ලිගෙන් දෛනිකව ඇමතුමකි . දුරකථනය නිහඬ කරමින් කෝට්ටය තුළට තව තවත් හිස ඔබා ගන්නට ගත බලකරන්නේ පහව නොගිය පෙර දිනයේ වෙහෙසත් ඇඟපත වේදනාවක් නිසාමය.
කරගැට සම්බන්ධයෙන් කිසියම් සම්මාන ප්‍රදානෝත්සවය පවත්වන්නේ නම් නිශ්චිතවම මා හට ගෞරව සම්මානයක් ද සුමේධ මල්ලිට විශිෂ්ඨතා සම්මානයක් ද හිමිවිය යුතුව තිබේ.
දවසේ කිහිප වරක් යළි යළිත් සවිකල ද මිට වටා කැරකී ලිහිල් වන උදලු තල හිතුවක්කාරය.
ගාමිණීත් හිතුවක්කාර උදලුත් අතර ඇත්තේ බොහෝ සමාන කම් මිස වෙනස්කම් නොවේ. ලියාපදිංචි ට අනුව වයසින් 60 විය නොඉක්මවූ ගාමිණීට ඇත්තේ වසර 70ක පමණ මහලු පෙනුමකි. අනුමත කළ හැකි ගති හුරු කම් කිසිවක් ගාමිණි සතු නොවූවද පාළු හේනක වන සතුන් මැද නිදිවරමින් අඳුරේ රැය පහන් කරන්නට හිතුවක්කාරයෙකු මිස වෙනෙකෙකු මුරකාර පත්වීම භාරනොගන්නා බව ඉඳුරාම දනිමු .
ලේක්හවුසිය වරාය අධිකාරිය හා විවිධ අමාත්‍යාංශ ඇතුළු ආයතන ගණනාවක සේවය හැර ගියා සේ සළකා රැකියාව අහිමි කරගත් මා රතු ඉර වැදීම පිළිබඳව නම් කිසිදිනක එතරම් උනන්දුවක් නොදැක් වූ අයෙකි . නමුත් ගොවිපල කටයුතු ආරම්භ කළ මුල් සති කීපය හැරෙන්න ගත දවාලන රතු හිරුරැස් මගහැර හේන් ගොවිතැන් කටයුතුවල නියැලෙන්නට අපි දැඩි ලෙස උනන්දු වන්නෙමු .
ඉඳහිට හමුවන මයිල ගහක සෙවන හැරෙන්න සමස්ත වටපිටාව හිරුගේ දැඩි ග්‍රහණයට හසුව තිබේ.
කෙටි වාක්‍ය දෙකකට පමණක් සීමා වූ ගාමිණි හා මා අතර සංවාදය කිසිදිනෙක එහාමෙහා නොයවන්නට ගාමිණී ප්‍රවේශම් විය. සෑම උදෑසනකම වාගේ ”කොහොමද ඊයේ රාත්‍රියේ ….. අලි ආවද ..? යනුවෙන් විමසන මගේ පළමු පැනයට බස්සෙකුගෙ බස් වහරින් පිළිතුරු දෙන ගාමිණි දෙවන පැනය වූ”” කහට කෝප්පයක් බොමුද…? යන්නට ක්‍රියාවෙන් පිලිතුරු දී ලිපි ගිනි මොලවයි.
මේ ලියන මොහොතේ දී “ජලබෝල” නිෂ්පාදනය කළ වරදට හසු වී ගාමිණී ගාමිණීට වඩා තරමක් කෙසඟ පොලිස් සිර මැදිරියේ කම්බි කූරු අතර පරතර මනිමින් දැඩි රැකවල් මැද පසුවෙයි. ගාමිණිගේ කෙසඟ සිරුර වෙනුවෙන් කිසිවකු පැමිණ ඇප ලබාදෙන තෙක් රඳවා තබා ගැනීමට නීතිය ක්‍රියාත්මකව ඇති.
ගාමිණි අරපරෙස්සම් කළ නිහඬබවේ රහස බොහෝ දිනවල නැහැයට දැනුනද
ඉන් ඔබ්බට නෙවැටහීම පිලිබදව මා දැන් සතුටු වෙමි.
“ජල බෝල” “කටුකම්බි”” “වැට සුද්ද” “කසිප්පු ” සුදුවා ආදී කී නොකී බොහෝ නාමකරණයන් වුවද මා වඩාත් ප්‍රිය කරන්නේ “ජල බෝල” යන්නටයි.
වහා ක්‍රියාත්මක වූ පොලීසිය අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ අතර ප්‍රමාණයෙන් ලීටරයක තරම් ගෝඩා හැලියකි . එයද පෙරීමට පෙර පදම් වෙන්නට තැබූ සීනි වතුර හා කලවම් වූ ඊස්ට් මුට්ටියකි. නැතිනම් ගාමිණී සුරපප්පකු කළ අරිෂ්ට මුට්ටියයි.
මත්බව ට එරෙහි වන නීතියක් නැත්තේය. ඕනෑම උපාසක මහත්මයකුට උදෑසන සිට රාත්‍රී 9.00 තෙක් මත්වීමට නීතියෙන් අවසර ය. ගැටලුව ඇත්තේ අප මත සොයාගන්නා ආකාරයේ පමණි. රාජ්‍ය භාගය ගෙවන්නේ නම් මත් ගබඩා දිවයින පුරා විසිර පවතී.
වවාගෙන කෑමට ඇති අවසරය පෙරාගෙන බීමට නොමැතිබව යළි යළිත් පසක් කරමින් හය හතර නොදත් ගාමිණි පොලිස් නිලධාරින් සමඟ දොඩමළු ය.
ඔබට මත් විය හැක. අනතුරුව වල්මත් වීමට ද වල්මත් වී අනතුරු වීමටද පුළුවන නමුත් ඒ සඳහා රාජ්‍ය භාගය ගෙවිය යුතු වේ.
ගැටලුව ඇත්තේ මත්වතුර තුල නොව එකී මත්වතුර හිමිකාරීත්වය තුළ පමණි.
හිත මතට නම්
මතට තිත් ගොඩකි…….
අනිල් අරුමපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *