හොදින් සවන් දෙන්න…

සීගිරිඅහස අන් කවරදාටත් වඩා ප්‍රේමාන්විත චමත්කාරයක් මවයි . වැවට ඉහළින් රැඳුනා කළු අඳුරු වලා තිරය මැද්දෑවෙ මනරම් හදවතකි? දවසේ වැඩි කාලයක් අහස දෙස බලා සිටින්නට පුරුදුව සිටින මගෙන් මෙකී මනරම් දසුන සඟවන්නට අහස අපොහොසත් වී ඇති සේය.
ගෙවුණු බොහෝ සන්ධ්‍යාවන්හි මැවුණු අපූරු වලා රටාවන් බොහෝමයක් අදත් මා මතකයේ තැන්පත්ව තිබේ. අහස අරා රැදුණු රන්මය හදවත සමුගන්නා නිමේෂයට මොහොතකට පෙර දුරකථන තිරය මත සටහන් කරගන්න ලැබීමම ස්වර්ණමය අවස්ථාවක් නේ දොයි මට සිතේ.
දෙහිඅත්තාවල වැව දිය මත වැටී ඇති ප්‍රති්බිම්බයේ තවත් හදවතකි . දෙහදම වෙලූ වර්ණවත් ස්වභාදහමේ මනරම් ප්‍රේමාලිංගනය, අතිරේක අහසත් , වැව් දිය තලයත් , ඉහත්තාවෙ ඉපල්ව ඇති මහා වෘක්ෂයෝ ද මෙන්ම හුදෙකලා මා ද මෙහි ඇසින් දුටු සාක්ෂිකරුවන් වන්නෙමු.
සීගිරි ගලත් හබරණත් යා කෙරෙමින් වන මැදින් ඇදෙන මග දෙකොන පරතරය කිලෝමීටර වලින්
8කි.. එමග හරි මැද්දෑවට හූවකට නුදුරින් හමුවන අතුරු ගුරුපාරේ පියවර කීපයක් ඉදිරියෙ වම්පසින් දෙහිත්තාවල වැව විරාජමානව වැඩ සිටී.
හේන් ගොවියකු හෝ හදිසියේ පැමිණෙන හිතුවක්කාර අප වැන්නවුන් හැරෙන්නට වැව් පහස විඳින්නට ඉඩ හසර ඇත්තේ අලි ඇතුන් ඇතුළු වන සීපාවන් හා තොරක් නොමැතිව හඬ තලන වාචාල පක්ෂී සමූහයට පමණි.
අඳුරු ගැඹුරු කළු ජලතලය පිටාර ගලා නොගියද නෑමට සුදුසු තැනැක් වශයෙන් හැඳින්වීමට මට නම් කිසිසේත් සිත් නොදේ. සුළු අත්වැරැද්දකින් සදාකාලයටම ඔබ සඟවා ගන්නට තරම් දෙහිඅත්තාවල වැව මොහොතකටවත් පසුබට නොවන බව නම් ඉඳුරාම පැවසිය හැක.
හොදින්
සවන් දෙන්න…
ඔබේ ජීවිතයේ පංගුකාර සදාදරණීයන් එකිනෙකා මනසින් පෙළගස්වන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිමි. වැව් දිය මත මෙන්ම ගැඹුරු පතුලත තෙක් සීඝ්‍රගාමී ගමනක යෙදෙන යළි යළිත් මතුව ගිලි ගිලී යන දිය කාවුන් මෙන් ඔබ මතක දොරකඩ ඔවුන් පෙළ ගැසේවි . ඔබේ ප්‍රාණ සම දෙමාපියන් සොහොයුරු සොහොයුරියන් සීයා අත්තම්මා මේ කොයි කාගෙත් මුහුණු සිහිපත් කරන්න. ඔබේ සදාදරණීය පෙම්වතා පෙම්වතිය බිරිඳ සැමියා ඔබේම කරගන්නට ඔබ කළ අනේක කැප කිරීම් මොහොතකට සිහිපත් කරන්න.
එකිනෙකා හමු වූ මං මාවත් රඟහල් නාට්‍ය ශාලා පන්සලේ බණ මඩුව උයන් තෙර මතකයන් අතර සමාධිගත වන්න .
අතැති ජංගම දුරකථනයේ යතුරු පුවරුව අනේකවාරයක් තලා රැයෙත් දහවලෙත් බෙදාහදාගත් ප්‍රේමණීය පණිවිඩ පුරා රැවල් කීයක්නම් පුරන්නට ඇත්ද?
නෙක සටන් අග ඔබ වෙනුවෙන්ම තැනුන පුංචි කැදැල්ලේ ටීපෝව මත අභිමන් වඩන මංගල ඡායාරූප ඇල්බමය කෙතෙක් වාරයක් මුලසිට අගට විස්තර විචාරයෙ නියැළුන හැටි ඔබට මතකද ?.
බැහැරක සිටි ඔබ දින සති කීපයකින් ආපසු පැමිණි දෘ කඩුල්ල අසල සිනහ මල් පාවඩ අතුරමින් මුව අයා සිටින ඔබේම සුපෙම්වත් බිරිඳ දරුවන් ගේ මතකයෙන් කිසිදා ඔබට සමු ගත හැකිද ?.
ඉදින් මේ ඔබේ හෝරාවයි . හොඳින් සවන් දෙන්න ……
සියල්ල නිම වන්නට සියල්ල අහිමි වන්නට වැය වන්නේ නිමේශයකටත් අඩු කාලයකි. සමහර විට ඔබේ ආදරණීයයාගේ මරුවා ඔබේ දෙතොලත සැඟව ඇත .
ඇල්මැරුණු සුදු ඇත්දළ යුවළකට මැදිව උඩුකුරුව සයනය කොට ඇති ඔබේ මෘතදේහය හිස ඉහත්තාවේ පුපුරුගසමින් දැල්වෙන තෙල් පහන් සිල ඔබේ ජීවිතාලෝකය පරයමින් දැල් වෙන හැටි සිහියට නගන්න. මළානික මල් වඩම් වල ආගන්තුක සුවද නැහැ පුඩු හකුළුවා යමින් හදවත පතුලටම ගිලෙමින් තිබෙනබව මනසින් දකින්න.
ජීවත්වන ඔබ මා ඇතුලු ලොවේ කොයි කවුරුන් හෝ මිය ගිය දිනෙක ඔහුගේ හො ඇයගේ මලකදට කිසිදු වටිනාකමක් ඇත්ද..?
කුකුලකු ගවයකු ඌරෙකු මියගිය විට උගේ වින්ස් , ලෙග්ස්.. බ්‍රෙස්ට් කොයිකටත් සෑම කිලෝග්රෑමයකට ම වටිනකමක් ඇත. නමුත් ඔබට මට වටිනාකම ඇත්තේ ජීවත්වන අවසන් තප්පරය තෙක් පමණි .
ඔබේ මරණ සහතික ලියවෙන්නේ coronavirus යේ නාමයෙන් නම් තත්ත්වෙ කෙතරම් ඛේදනීය එකක් වේවිද.? ටොපියක් සේ එතූ පොලිතීන් කවරෙක ඔබේ ආදරණීයයන් කිසිවෙකු ළඟ පාතකවත් නොමැති අඳුරු ආදාහනාගාරයක ඔබේ අවසන් ගමන යාමට සිදුවේ නම් …
හොඳින් සවන් දෙන්න
ඔබ මා ගෙවන මේ මොහොත අතිශය බියකරුය. ඔබට ජීවිතයේ කරන්නට තව බොහෝ දේ ඉතිරිව ඇති. ඔබේ දරුවන් දෙමාපියන් වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් පෙම්වතිය වෙනුවෙන් පෙම්වතා වෙනුවෙන් ඔබට තව කරන්නට බොහෝ දේ තිබේ. රට ජාතිය ආගම කෙසේ වතුද ඔබ ආත්මාර්ථකාමී වන්නැයි ඔබෙන් ඉල්ලා සිටිමි .
ඔබ ඔබ වෙනුවෙන් ගෙදර ඉන්න.
එවිට හෙට දින අපි වෙනුවෙන් අප ඉතිරි වනු ඇත .තිරිසන්ගති ගති ඉහළ දමමින් නිදැල්ලෙ හැසිරෙන්න එපා …හෙටත් නිශ්චිතවම පායන හිරු ගේ චමත්කාරයන්.. තරු පිරුණු නිල්වන් අහසටත් මැදිව.විවිධ රටා මවන මිනිස් සමාජයේ ගෞරවාන්විත මිනිසකු වන්න..
දින කීපයක් යනු ඔබේ ජිවිතය නොවේ.
ටික දවසකට ගෙදර ම ඉන්න…
අනිල් අරුමපුර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *